යුද්ධය අවසන්ව වසර 5යි | ‘යුද්ධය අවසන් කිරිමට පෙර සිට අපි අහපු මේ ප්‍රශ්න අපිට තවමත් ප්‍රශ්න’

Published in http://www.vikalpa.org/?p=20620

මගේ මතකයේ ඇති කාලයක සිට 2009 මැයි මස වනතුරු යුද්ධයක් පැවති සමාජයක ජීවත් වුනා. මෙම තත්ත්වය මම ඇතුළු බොහොමයක් තරුණ තරුණියන් අත්විදපු දෙයක්. යුද්ධය අවසානයත් සමගම මා මෙන්ම මාගේ පරම්පරාවේ අය ජාතික සමගිය හා එක්සත්කම වෙනුවෙන් ලොකු ලොකු හීන දැක්කා. සමහරුන්ට මේ වන විට ඒ සිහින සැබෑවෙලා. අපිට දැන් යාපනයට මුලතිව් වලට කරදරයක් නැතුව යන්න එන්න පුළුවන්. බෝම්බ පුපුරාවීදෝ කියන බය තවදුරටත් නැහැ. මේකද අපි ජාතියක් විදිහට බලාපොරොත්තු වන සමගිය? එකමුතුකම?

ශ්‍රී ලාංකිකයන් විදිහට අපි තිස් වසරක් පුරා දිග්ගැසුණු සන්නද්ධ අරගලය ඇතුළු අර්බුද මාලාවක ප්‍රතිඵලයක් ලෙස අපේ ජීවිතවලට හා ජීවනෝපයන්ට සැලකිය යුතු හානියක් සිදු වී තිබෙන බව අවබෝධයක් තිබෙනවද යන්න මට ගැටළුවක්. එකී යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ වාසය කරන විවිධ ජනතාවන් අතර හා ජනයා තුළ අවිශ්වාසයන් හා අනාරක්ෂාවන් ඇති වු බව අපි නොදන්නා කාරණයක් නොවේ. ඒ අනුව 2009 මැයි මස සිට මේ දක්වාත්, අද සිට ඉදිරියටත් ලාංකේය සමාජයේ අපිට ඇති මුලික අවශ්‍යතාවය සාමූහික ලාංකික අනන්‍යතාවයක් ගොඩනැගීම බව මගේ විශ්වාසයයි. ලංකාවේ සියලු පුරවැසියන්ගේ සමානාත්මතාවය පිළි ගනිමින්, සියලු ජනතාවන්ට එක්සත් දේශයක් තුළ ගෞරවනීය අන්දමින් තම අනන්‍යතාවයන් ආරක්ෂා කර ගැනීමට තිබෙන අයිතිය තහවුරු කිරීමට හැකි වු දිනය සැබෑ සාමයේ දිනය වේවි.

ජන වර්ගයන් හා කණ්ඩායම් අතර සමීපතාවය සුහදත්වය ඇති, සමානාත්මතාවයේ සමාජ රිතිය පිළිපදින, තමන්ගේම භාෂාවට හා සංස්කෘතියට වඩා ඉඩකඩක් තිබිය යුතුය. තවද ආණ්ඩු පාලනය සඳහා සියලු ජනයාට එකග විය හැකි දේශපාලන ව්‍යූහයක් ගොඩනගා ගැනීම, ජාතික එකමුතුකමේ මුලික අංගයන් ලෙස අවබෝධ කර ගැනීමට හැකියා ඇත. ඒ තුළ ලංකාවේ අපට ජාතින්ගේ එක්සත්කම ලගා කරගන්නේ කෙසේද? මේ වනවිට ලංකාවේ ජාතික එක්සත්කම ගොඩනැංවී නැත්තේ ඇයි? ලංකාවේ ජාතින්ගේ එක්සත්කම උදෙසා ජය ගත යුතු බාධකයන් කවරේද? එම බාධකයන් ජය ගන්නේ කෙසේද? යුද්ධය අවසන් කිරිමට පෙර සිට අපි අහපු මේ ප්‍රශ්න අපිට තවමත් ප්‍රශ්න. අපිට මෙවට පිළිතුරු නැද්ද? නැතිනම් අපිට මේවා තවදුරටත් ප්‍රශ්න බව අමතකද? යන ගැටළු මට පැන නගිනවා.

යුද්ධය නිමවී වසර පහකට පසු අද දවසේ අප ඉදිරියේ ඇති අභියෝගය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අනුමැතියෙන් සියලු ජාතීන් එකට එක්වී ජිවත් වන එකම දේශයක් ගොඩ නැංවීමයි. අද අපි දිනා ගත යුත්තේ එම එක්සත්කමයි. මෙම එක්සත්කම මගින් සිංහල – දෙමළ ද්විභාෂා පාලනයක් පිළිගැනීම හා එය පරිපුර්ණ ලෙස ක්‍රියාත්මක කරවා ගැනීම අත්‍යාවශ්‍ය කටයුත්තක් ලෙස සැලකිය යුතු වනවා. තවද ජාතීන්ගේ ඔවුන්ට ආවේනික වූ සංස්කෘතීන් හට ගෞරව කිරීමද අපගේ කාර්යයක් ලෙස සැලකීමද අත්‍යාවශ්‍ය කටයුත්තක් බවද මතක තබා ගත යුතුයි.

තවමත් නොවිසදී ඇති ගැටලුවක් වන අපේ පාලන ක්‍රමය කුමක් විය යුතුද යන්න පිළිබද දේශපාලන සංවාදය සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයක් ඇතුව සිදුකිරීම තවමත් අපට අභියෝගයක් වි තිබෙනවා. අද වනවිට දෙමළ ජාතික සන්ධානය ඇතුළු ලංකාවේ වෙසෙන සියලු දෙමළ ජනයා නොබෙදුනු එක්සත් ලංකාවක් තුල උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාවට හා ඔවුන්ගේ නියෝජිතයන් හට යම් බලතල ඉල්ලා සිටින තත්ත්වයක් තුල ජාතික එක්සත්කමේ අනාගත විසඳුම අපට සොයා ගත හැකි දෙයකි. නමුත් ඒ සදහා වන දේශපාලන සාකච්ඡාව ඇරඹීම තව දුරටත් ප්‍රමාද කිරීමෙන් අපට මේ ලැබී ඇති මහගු අවස්ථාව නැතිවී විනාශ වී යාමට නොදීමට වග බලාගත යුතුයි. එහිදී ඓතිහාසිකව ලංකාව සමග එකට බැඳි සිටින අසල්වැසි ඉන්දිය රාජ්‍යයට අපට අනිවාර්යයෙන්ම උපකාර කළහැකි බව අපි මතක තබාගැනීම වැදගත් බව මගේ හැගීමයි.

වෙනම දෙමළ රාජ්‍යයක් දිවයින තුල පිහිටුවීමට එරෙහිව ශ්‍රී ලාංකික රාජ්‍යයද, නිදහස් දෙමළ රාජ්‍යයක් පිහිටුවිම සඳහා එල්.ටි.ටී.ඊ සංවිධානය ද මුහුණට මුහුණලා අවුරුදු 30ක් යුද්ධ කලා. එම යුද්ධය මීට අවුරුදු පහකට කලින් අවසන් වන කොට යුද්ධයකින් දෙමළ ජනයාට නිදහස දිනා ගැනීමට නොහැකි බවත්, යුද්ධයෙන් ලංකාව එක්සත් කල නොහැකි බවත් අපි දැනගත්තා. නමුත් දෙමළ හා දෙමළ කථා කරන ජනතාවගේ සහයෝගය නැතිව ලංකාව එක්සත් කල නොහැකි බව ද, සිංහල ජනතාවගේ සහයෝගය නැතිව දෙමළ ජනතාවට සිය නිදහස දිනා ගත නොහැකි බව යුද්ධයෙන් වසර පහකට පසුත් දේශපාලන අධිකාරිය අවබෝධ කර ගෙන ඇතිද යන්න ඇති ගැටළුවක්.

ශ්‍රී ලාංකිකයන් වන අපි, ලාංකිකයන්ගේ අනාගතය වෙනුවෙන් ඇති වගකීමක් ලෙස සලකා ලංකාවේ විවිධත්වය තුළ එක්සත්කම අරක්ෂා කිරීමටත්, මානුෂිකත්වයේ හිමිකම් හා වටිනාකම් නඟා සිටුවීමටත්, සෑම ලාංකිකයකුට ම ගෞරවයෙන් හා විවිධත්වය කෙරෙහි ඇගයීමකින් යුක්තව ජීවත් වීමට තිබෙන අයිතිය පරිවර්තනය කිරීමටත්, කැපවීම තවදුරටත් ප්‍රමාද කල නොහැකි යුතුකමක් ලෙස සිහිගන්වා ගැනීමට මෙය කදිම අවස්ථාවක් ලෙස අවසාන වශයෙන් මතක් කර සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *